හිසේ කසළ

දානේ ඉවරවෙලා පැය තුනක් යනකොට ආපු නෑදෑයෝ බොහොම දෙනෙක් ගෙවල් බලා පිටත් වෙලා. මගෙ ගෙදර තිබුන පළමුවෙනි බණයි දානයයි නිසා වෙන්න ඇති මට මහන්සියත් එක්ක හරිම සතුටකුත් දැනුනේ; මගෙ අන්තිම විභාගය ඉවර කළ දවස වගේ.

ගෙදර අස් කරන කටයුතු වලට බොහොම දෙනෙක් සම්මාදම් වුනා. බණ අහන්න එලපු පැදුරු අයින් කරලා, බිම අතුගාලා මේස පුටු පුරුදු තැන්වල තියන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඊට වඩා වෙලා ගියේ කෑම බීම නෑදෑයොත් සමග බෙදා හදා ගන්නයි. කොයි තරම් මුල් බැඳලා නෑදෑයන්ට බෙදුවත් කෑම ගොඩක් ඉතිරියි. හොඳ වෙලාවට නංගිත් චුට්ටි මල්ලිත් දරුවොත් එක්ක අපෙ ගෙදර අද රෑ නවතින්නේ. අපිට පුළුවන් නිවිහැනිහිල්ලේ තියෙන දෙයක් කාලා, අපෙ පවුලේ පරණ කතා ආයෙත් රස විදින්න. ඒ අතින් සකුන් පුංචිත් රෑ නැවතුන එක වඩාම සතුටට කාරණයක්.

අපි සකුන් පුංචී කිව්වේ අපෙ අම්මගෙ නංගිට. අම්මගෙ පරම්පරාවෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ ඒ පුංචි අම්මා විතරයි. ඒ පුංචි අම්මට පොඩිකාලේ ‘සකුන්තලා දේවී’ කියලා නම පටබැඳිලා තිබුනලු. ඒක නිසයි පවුලේ සේරම ‘සකුන්’ කියන නම පාවිච්චිකලේ. මගෙ මල්ලිලා දෙන්නටයි නංගිටයි වගේම ඒ අයගෙ ලාබාල දරුවන්ටත් හොඳටම හිතට අල්ලලා ගිය එකම ‘වයසක’ නෑයා සකුන් පුංචියි.

“ඕන්න ඒ වැඩෙත් ඉවරයි…ඔළුවේ පැටවිලා තිබුන ලොකු බරක් අයින් කෙරුවා වගේ!”

“ඔවු ඉතින් අයියගෙ පලවෙනි දානෙ නේ… හැබැයි එකක් මං කියන්නම්…. වැඩේ නම් නියමෙට කෙරුනා” නංගී මා දිහා බලාගන කිව්වේ මට සුභ පතනවා වගේ.

“ඒක ඇත්ත” මල්ලිත් එකඟඋනා.

“හොඳ වෙලාවට කාරණා දන්න ඈයෝ උදව්වට හිටියානේ” මම නංගියි මල්ලියි දෙන්නම දිහාට හිස නැමුවා.

“උදව්කාරයන්ගෙන් කිසිම අඩුවක් උනේ නෑ”

අපි තුන්දෙනාම සකුන් පුංචී දිහා බැලුවේ අපිට අවශ්යම අනුමැතිය ලැබිය යුත්තේ ඒ පැත්තෙන් නිසයි.

“පුංචී මොකද කියන්නේ?”

“හ්ම්….මෙතන දැන් කෙරුන අන්යෝන්ය පිට කසාගැනීම නම් ඉස්තරම්!.…හ්ම්ම්...දානෙත් නරක නෑ!” පුංචී මෙහෙම කිව්වේ පොඩි හිනාවකින් මුව සරසාගනයි.

දකින දේ අවංකව දකින විදිහටම චිත්රයකට හරවන දක්ශ චිත්රශිල්පියෙක් වගේ සකුන් පුංචිත් දකින/ඇහෙන අදහස් ‘පිරිසිදු’ සරල වචන වලට හැරෙව්වා. ඈ මෙය ඉටුකළේ මූළික අදහසට අදාළ නොවන සියලු අදහස් උදහස් සම්පූර්ණෙන්ම නොසලකා හැරීමෙනුයි.

සාමාන්ය මිනිස් සිතුවිලි කසළ වලින් පිරී ඇතැයි පුංචී විශ්වාස කළා. අදහසක් නියම විදිහට පාවිච්චි කරන්න හැකිවෙන්නේ පළමුව එහි කසළ ඉවත් කලොත් පමණක් බවයි පුංචී නිතරම අපිට කිව්වේ. බොහෝ අය පුංචිට ගරු කළෙත් ආදරය කළෙත් මේ ප්රතිපත්තිය නිසාමයි. ඒ වගේම බොහෝ දෙනෙකුට ඇය නොරුස්සන්න හේතුවත් මේකමයි.

“අපි තුන්දෙනාම වරද පිළිගන්නවා….දඩය හැටියට තව තේ හදන්න මම නංගී පත්කරනවා”

නංගිගෙ හය හැවිරිදි පුතා පළමු වරට කතාවට එක්වුනා.

“අත්අම්මා…අනියෝන පිට තියෙන්නේ කොහෙද?”

නංගිටයි මටයි හිනා ගියත් පුංචී ඒක දැක්කේ වැදගත් ප්රශ්නයක් හැටියට. පොඩි අයට තේරෙන විදිහට අන්යෝන්ය පිට කසාගැනීම ඈ විස්තර කළේ උදාහරණ සමගයි.

අවුරුදු ගණනාවක් ගුරුවරියක් හැටියට සේවය කළ පුංචී පොඩි ළමයින්ට කතා කරන්න දන්නවා. ළමයින්ට ඉගැන්නුවා වගේම පුංචී ළමයින්ගෙනුත් බොහෝ දේ ඉගෙනගෙන තියෙන බව පැහැදිළියි. ‘කිසිම වෙලාවක ප්රශ්න අසන්න බය නොවීම’ සහ ‘අදාළ නැතිදේ සාකච්චා මාතෘකාවකට ඇද නොගැනීම’ මේ අතරින් වැදගත් තැනක් ගත්තා.

……………………………

“පුංචී… ලොකු මලයා ආයෙ කොළඹ යන්නේ කවද්ද?”

මට පුංචිගෙ ලොකු පුතාගෙන් අහගන්න ඕන දේවල් බොහොමයි. ගෙදරට අවශ්ය විදුලි උපකරන, විශේෂයෙන්ම කොම්පියුටර් වැනි දේ, ගැන අහන්න ඊට වඩා හොඳ කෙනෙක් නෑ.

”තව දවස් දෙක තුනක් ගෙදර ඉන්නවා කිව්වේ…හෙට උදේ ආපුවම හරියටම අහගන්න බැරියෑ”

“මං හිතුවේ මලයා දන්න සාප්පුවක් අල්ලලා බඩු ටිකක් ගන්න. මිනිහා හඳුනන්නෙ නැති කෙනෙක් නෑනේ”

පුංචී මා දිහා බැලුවේ හිනා මුහුණින්.

“කඩෙන් බඩුගන්නත් හඳුනන අය ඕනැනම් දැන් මේක අමුතුම රටක් වෙලා වගේ…මම දන්නෙම නැතුව…”

“එහෙම එකක් නෙවෙයි…මලයා කොම්පියුටර් ගැන මට වඩා දන්නවා…අනික හඳුනන තැනකින් නම් ඩිස්කෞන්ට් එකකුත් හම්බවෙයි”

මම දන්නවා පුංචී කවදාවත් කඩේකින් ඩිස්කෞන්ට් ඉල්ලන්නෙ නැති බව. මට ඕනැ උනේ පුංචිව ටිකක් අවුස්සන්න.

“ඔවු ඉතින්…එක් කෙනෙක් අඩුවෙන් ගෙවනවා කියන්නේ අනික් අය වැඩියෙන් ගෙවනවා කියන එක නේ”

වැඩිය කතා නැති චුට්ටි මල්ලී මේකට එකඟඋනේ නෑ.

“නෑ පුංචි අම්මා…යාළු කමට ගාන අඩු කරනවා කියන්නේ තමං කැමති කෙනෙකුට පොඩි තෑග්ගක් දෙනවා වගේ වැඩක්. අර කඩසාප්පු අවුරුද්ද අන්තිමට කැලැන්ඩර් එහෙම දෙනවා වගේ”

“ඒ දෙක අතරේ තියෙන වෙනස චුට්ටි පුතා දන්නවා…හෙන්රි ස්ටෝස් කැලැන්ඩරේ දිනපතා දකිනකොට ඒ සාප්පුවේ නම තමා අපෙ හිතේ ඇඳිලා තියෙන්නේ… රෙදි ගන්නේ කොහෙන්ද? හෙන්රි ස්ටෝස් එකෙන්. ඒකයි ඒ අය කැලැනඩර් අච්චු ගහන වියදම දරන්නේ”

“ඒක ඇත්ත පුංචී…නමුත් යාළු කමට ගාන අඩු කරන්නේ?”

“….ඒ යාළුකම දිගටම තියාගන්න…පස්සේ තව බඩු විකුනගන්න…”

“ඒකේ මොකද්ද වැරැද්ද? මට සීයට පහලවක් ලාබෙට බඩු ලැබෙනවා නම් ආයෙත් ඒ කඩේට යන එක මට ප්රශ්නයක් නෙවෙයි”

පුංචී ටිකක් කතා නොකර හිටියා, හරියටම හරි වචන තෝරගන්න උත්සාහ ගන්නවා වගේ. මට තේරුනා පුංචී උත්තර දුන්නේ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි කියලා. පොඩ්ඩෝ තුන්දෙනත් බණ අහනවා වගේ පුංචී කියනදේ අහගෙන ඉන්නවා.

“කඩයක් දාන්නේ බඩු විකුනලා ලාබ ගන්න. කඩේ ලොකු උනත් පොඩි උනත්, විකුනන්නේ කාර් උනත් කෙහෙල්ගෙඩිද උනත් කිසි වෙනසක් නෑ….කඩ අයිතිකාරයන්ට හිතන්න තියෙන්නේ එකම දෙයයි…ලාබ ගන්නේ කොහොමද කියන එක විතරයි”

පොඩි අයගෙන් හරස් ප්රශ්න බලාපොරොත්තුවෙන් වගේ පුංචී ඒ තුන්දෙනා දිහා බැලුවා. මල්ලිගෙ ලොකු දුව ගෙනුයි පලවෙනි ප්රශ්නේ ආවේ.

“එහෙනං යාළුවන්ට ලාබෙට බඩු දෙන එක මෝඩයිනේ!”

“ඒක හරියටම හරි … අපි දන්නවා ලාබ නැති කඩයක් දිගටම කරගෙන යන්න බෑ කියලා. ඒ කියන්නේ ටිකක් කල් පැවතෙන කඩයක අයිතිකාරයා මෝඩ වෙන්න බෑ. ඒ වගේ මෝඩ නැති කඩ කාරයෙක් යාළුවන්ට අඩු ගානට බඩු දෙනවනම් අනික් අයට වැඩි ගානට බඩු දෙන්නම ඕනෑ… ලාබ ගන්න වෙන ක්රමයක් නෑ. යාළුකම් වගේ දේ ලාබෙට අදාළ නෑ.

“…මං කියන්නේ… මේ වගේ ප්රශ්න ගැන හිතනකොට අදාළ නැති, හිතට එන කුණු කසළ, හිතෙන් අයින් කරගන්න ඕනෑ”

“අත්අම්මා කියන්නේ අපි යාළු නැති කඩවල් වලට විතරක් යන්න ඕනෑ කියලද? ඒවගෙ ගනං වැඩීනේ ඔය කියන විදිහට”

“අපෝ දුව…මම කවදාවත් ඒවගේ අවවාද දෙන්නෙ නෑ… ඕනම තැනකින් ඕනම දෙයක් ගත්තට මට ප්රශ්නයක් නෑ… හැබැයි මං කැමතියි ඕනැම කෙනෙකුට හරි ගානට බඩු ගන්න පුළුවන් වෙන්න - මුදලාලිත් එක්ක යාළු වුනත් නැතත්”

“පුංචී කියන විදිහට සේරටම ගාන වැඩි කරලා විකුනුවොත් ඒත් හරි… යාළු කියලා ගාන අඩු නොකර!”

“ඔවු… හැබැයි එහෙම උනොත් මම ඊට වඩා ගාන අඩු වෙන කඩේකට යනවා. … මට ඉවසන්ට බැරි යාළු කමට මට අඩු ගානට බඩු දීලා වෙන කෙනෙකුගෙන් ඒක අල්ලගන්න වැඩි ගානට බඩු දෙන එකයි. ඒ මූලධර්මය සම්පූර්ණයෙන්ම වැරදි කියලයි මම කියන්නේ”

“මම ඩිස්කෞන්ට් ගන්න එක අනික් බඩුගන්න මිනිස්සුන්ගෙන් හොරකම් කරනවා වගේ කියලද පුංචී කියන්නේ?”

මල්ලිට ඒක නම් ටිකක් හිතට අමාරුයි වගේ. නමුත් පුංචිගෙන් ගැලවීමක් නෑ - හරියට මල්ලිගෙ හිතේ අමාරුව මේ සාකච්චාවට අදාළ නැති කුණු කසළ වගේ නිසා හිතෙන් ඉවත් කරලා වගේ.

“තමාට වාසි වෙන්නේ අනික් අයට අවාසි කරලානම්….”

මල්ලිගෙ ලොකු දුව මල්ලිගෙ ආධාරෙට ආවා.

“යාළු කමට අඩු ගානට බඩු දීලා වැරැද්දක් කරන්නේ මුදලාලී නම් ඒක කොහොමද අප්පච්චිගෙ වැරැද්ද වෙන්නේ?”

චුට්ටි මල්ලී හිනාවෙලා බොහොම ආදරෙන් දුවගෙ ඔළුව අත ගෑවා. සකුන් පුංචිත් දුව තමා ලඟට ගෙන්න ගෙන පුටුවේ කොනේ වාඩිකරගත්තා.

“කෙල්ලේ මේක ඔයාගෙ අප්පච්චී ගැනවත් වෙන කාවුරුත් ගැනවත් නෙවෙයි. අපෙ මුළු රටම පුරුදුවෙලා ඉන්නේ ඕනැ දෙයක් කරගන්න හඳුනන කෙනෙක් අල්ලගන්නයි. කච්චේරියට ගියත් බැංකුවට ගියත් එහෙමයි…ඒකෙන් ඒ ඒ තැන්වල වැඩකරන අයත් දැන් ඒකට පුරුදුවෙලා ඉන්නේ. ඒ අය හිතන්නේ හඳුනන කෙනෙක් ආවොත් උදව් නොකර බෑ වගේ…. මං කියන්නේ… අපි යාළුවෝ හොයාගන ගියේ නැත්තම්, ඒ අයත් තමංගෙ රස්සාව හරියට කරන්න ඉගෙන ගනියි. ඒ කියන්නේ සේරටම දැනට වඩා හොඳට සේවයක් ලැබෙයි…”

මට ඕන උනා මේක තව ටිකක් අවුස්සන්න.

“වැඩේ තියෙන්නේ පුංචී හදිස්සියක් වුනාම පැය ගනන් රස්තියාදු වෙනවට වැඩිය නරකද දන්න කෙනෙක් අල්ලලා ඉක්මනට වැඩේ කරගන්න එක. දන්න කෙනෙක් නැත්තම් ගානක් දීලා හරි…”

පුංචියි මමයි දෙන්නම දන්නවා මේක අවුස්සන්න කියපු කතාවක් කියලා. නමුත් වැඩිහිටියන්ටත් වැඩිය පොඩි අයට යමක් කියාදෙන එකයි පුංචිගෙ පරමාර්තය. ඒ නිසා පුරුදු විදිහට මට බැන්නෙවත් මා දිහාට පුටුකොට්ටයක් විසිකෙරුවෙවත් නෑ. නංගිටත් තේරුනා මෙතන සිද්දවෙන වැඩේ.

“එදා මම බංකුවට යනකොට පෝලිම දොරෙන් එළියට! හොඳ වෙලාවට අර බංගලාවත්තේ සුනිල් මල්ලී මාව දැකලා ඇතුලට කතාකරලා වැඩේ ටක් ගාලා කරලා දුන්නා. විනාඩි පහයි!”

“පෝලිමේ කවුද දුව ආයෙ හිටියේ?”

පුංචී අම්මා ඒක ඇහුවේ හරිම අහිංසක විදිහට.

“අනේ මංදා… පුදුම සෙනගක්”

“ඒ අයට කිසි හදිස්සියක් තියෙන්න නැතුව ඇති නේද?”

“එතන හිටියේ කවුද කියලා මං දන්නෙ නෑනේ….”

සකුන් පුංචී ආයෙත් අහිංසක හිනාවක් ආරූඩ කරගෙන පොඩ්ඩෝ තුන්දෙනා දිහා බලාගෙනයි කතා කරේ.

“පවු හැබැයි අර සිරිසේනට එදා අම්මා බලන්න ඉස්පිරිතාලෙට යන්න බැරිඋනාලු බැංකුවේ ප්රමාදෙන්… අනුලා හොඳටම බැනුම් ඇහුවලු කංතෝරුවේ ලොක්කගෙන් වෙලා ගියා කියලා…. බස් එක එන්න ඉස්සර පොඩි එකාට කිරිපිටි ගන්නත් බැරිඋනා කියලා අර සාන්ත කිව්වේ බැංකුවේ රස්තියාදුව හින්දා…”

“කවුද කිව්වේ ඔහොම වුනා කියලා?… පුංචී අඳුරනවද බැංකුවේ අය? ඒවා මගෙ පිටින් දාන්න බෑ… මම විනාඩි පහයි එතන හිටියේ..”

“ඔවු දුව කිව්වනේ විනාඩි පහෙන් වැඩ ඉවරයි කියලා…දුව වගේ එතන වැඩකරන අය හඳුනන තව කීදෙනෙක් ආවද කියලා දන්නවද? මම දන්නෙත් නෑ… නමුත් මම කියන්නේ, අපේ හදිස්සියට පිළියමක් හැටියට අපි අනික් අයට ඒ බර පටවන එක ඒ තරම් හොඳ නෑ නේද? … එහෙමයි මම හිතන්නේ”

“සකුන් පුංචී කියන්නේ දැන් කියපු ඔය සිරිසේනලා අනුලලා එහෙම ඇත්තටම එතන හිටියෙ නෑ නේද? මං සුනිල් මල්ලිට කියලා වැඩේ කරගත්ත එකෙන් කාටවත් ඉස්පිරිතාලේ යන්නවත් කිරිපිටි ගන්නවත් බැරිඋනෙ නෑ නේද?”

“ඒවා අපි කොහොමද දන්නේ දුව? අපි ඒවා ගැන හිතුවේ නෑ නේ බංගලාවත්තේ දරුවගෙන් උදව් ගන්නකොට”

මට හිතුනා සාකච්චාව දිග දුර යන්න ඉස්සර රෑ කෑම ගැන හිතලා බැලුවොත් හොඳයි කියලා.

“නංගී මොකද කියන්නේ අපෙ රෑ කෑම ගැන? පොඩ්ඩන්ට කන්න දෙන්නත් ඕනෑ… පුංචිට කන්න දෙයක් ගැන හිතන්නත් ඕනෑ”

“මං බලන්නම්… ළමයි දැන්මම බඩගිනිද?”

මේකට උත්තරේ ආවේ කෙලින්ම “නෑ” කියලයි. නමුත් නංගී පොඩි තුන්දෙනාට කෑම බෙදලා දුන්නා. බාල දෙන්නට නිදන්න තැනුත් සූදානම් කරලයි නංගී ආපහු අපි හිටපු තැනට ආවේ.

“පොඩ්ඩෝ නම් හරි… මෙතෙන්ට මොනවත් ඕනැද?”

“මටනම් තව තේ එකක් බිව්වොත් හොඳයි කියලා හිතෙනවා - මොකවත් කන්න පස්සේ බැරියෑ”

ඒ සකුන් පුංචිගෙ ඉල්ලීමයි. මම චුට්ටි මල්ලිට බීර එකක් දෙන්න උත්සාහ කලත් එයත් තව තේ එකකට කැමතිඋනා. අංතිමට අපි තව තේ පෝච්චියකුත් කැවුම් කොකිස් බංදේසියකුත් වටේට වාඩි උනේ අපෙ කයිවාරු තවම ඉවර නැතිබව පෙන්වලයි.

බාල ළමයි දෙන්නා නිදන්න ඇඳට දාලා නංගී ආයෙත් ඇවිත් වාඩිවුනා. මල්ලිගෙ ලොකු දුවත් ඒත් එක්ක ඇවිත් සකුන් පුංචිගෙ දිග පුටුවේ දිගාවෙලා අත්අම්මගෙ ඔඩොක්කුවේ හිස තබාගත්තේ තව වැඩි වෙලාවක් යන්න ඉස්සර නින්ද යන්න බලාපොරොත්තුවෙන්.

“මේ කොකිස් කොහෙන්ද පුතා?”

“මං හිතන්නේ අලුදෙනියෙන්…හැබැයි ඒ කට්ටිය දානෙටවත් හිටියෙන් නෑ, වැඩ වගයක් තියෙනවා කියලා”

“ඒක තමයි… අනේ මට ඒ නංගිත් එක්ක හරියට කතා කරන්නවත් බැරිඋනා…” පුංචී දුකෙන් වගේ කිව්වේ.

“ඒ ගොල්ලන්ගෙ චංද්රසිරි අයියට ටිකක් කරදරයි නේද? මාරුකරාලු නේද අම්පාර පැත්තේ ඉස්කෝලෙකට?”

නංගී දන්නවා ඒ අයියට වෙලා තිබුන කරදරේ. නෑදෑ ළමයි දෙන්නෙක් එයාගෙ ඉස්කෝලෙට දාගන්න පගා ගත්තා කියලයි කතාව පැතිරුනේ. නමුත් ඇත්තටම එයා කරපු වැරැද්ද තමංගෙ ගෙදර ඒ ළමයින්ගේ ස්තිර පදිංචිය කියලා කියපු බොරුවයි.

“ඔවු ඉතින්… කරේ වැරැද්දක් නම් ඒකට එයා ගෙවන්න වෙනවා”

චුට්ටි මල්ලිගෙ ලොකුදුව චන්ද්රසිරි අයියා දන්නෙත් නෑ, එහෙම කෙනෙකුගෙ කරදර ගැන උනන්දුවකුත් නෑ. නමුත් දුව නිදිමතේ අහපු ප්රශ්නේ සකුන් පුංචිට හොඳටම අල්ලලා ගියා.

“අත්අම්මා …. ඇයි වැරැද්දක් කරපු එක්කෙනා ගෙවන්නේ? මොනවා හරි කරන එක්කෙනාටනේ ගෙවන්න ඕනේ… අර වත්ත සුද්ද කරපු මිනිහට ලොකුඅප්පච්චී ගෙව්වා වගේ…”

“මේ කෙල්ල පැහිලා නෙවෙයි ඉදිලා!” සකුන් පුංචී පොඩි එකීගෙ ඔලුව අතගෑවා. “අර මම කිව්වා නේද ප්රශ්නෙකට උත්තර හොයන්න ඉස්සර අදාළ නැති දේ අමතක කරන්න ඕන කියලා? ඒක කරපු මනුස්සයා, එතකොට ලැබුන දඬුවම, ඒ වගේ දේවල් වැදගත් නෑ. වැදගත් එකම දේ කළ වැඩේ හරිද වැරදිද, හොඳද නරකද කියන එක විතරයි”

“කෙල්ලගෙ කතාවේ ඇත්තක් තියෙනවා” චුට්ටි මල්ලී දුවගෙ පැත්ත ගත්තා. “චන්ද්රසිරි අයියා හොඳ දෙයක් කරන්නයි බැලුවේ… ළමයි දෙන්නෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න. නමුත් ලංකාවේ නීතිය අනුව ඒක වැරදියි…. හොඳයි හැබැයි වැරදියි… එතකොට කොහොමද ලැබුන දඬුවම ඔබිනවද නැද්ද කියලා තීරනේ කරන්නේ?”

පුංචී ටිකක් හිතලා බැලුවා මේක සේරටම තේරුම් කරලා දෙන්න හොඳම ක්රමය ගැන.

“චීන කෑම!”

“හ්ම්?”

“ස්වීට් ඇන්ඩ් සවර් කියලා චීන කෑම තියෙනවා නේද? එක එකට බොහෝම වෙනස් රසවල් දෙකක්, පැනි රසයි ඇඹුල් රසයි, එකට කරලයි එතන තියෙන්නේ. චන්ද්රසිරි පුතා ළමයි දෙන්නෙකුට උදව් කරන්න බැලුවේ හිත හොඳ කමට … හරියට පැනිරස වගේ. නමුත් ආංඩුවේ නීතිය අනුව කලදේ වැරදියි - ඇඹුල වගේ. දෙක වෙන වෙනම ගත්තම ප්රශ්නෙට උත්තරේ ලේසියි. දඬුවම ඔබිනවද නැද්ද බලන්න ඕන නීතියට අනුව විතරයි. ඒක තනිකර ඇඹුල් ප්රශ්නයක්. ඒ පුතා කරපුදේ කලේ ඇයි කියලා බැලුවොත් ඒක පැනි රස ප්රශ්නයක්!”

පුංචී පොඩි එකී දිහා බැලුවා.

“දුවට තේරෙනවද? …. අනේ මේ කෙල්ලට හොඳටම නින්ද ගිහින්”

සකුන් පුංචිගෙ උත්තරේ මගෙ හිතට හොඳට ඇල්ලුවා. ඒක තව ඈතට බලන්නයි මම ඊලග ප්රශ්නේ ඇහුවේ.

“පැනි රස වෙනුවට තිත්ත රස දැම්මොත්? ඒ කියන්නේ, ඒ අයියා ඇත්තටම පගා ගත්තනම්?”

“එතකොට දෙකම ඇඹුල් නේද? දෙකම නීතියට විරුද්දයි. පගා ගන්නවා කියන එක අර අපි ඉස්සරවෙලා කතා කරපු දේ වගේ - අපෙ ලාබෙට අනික් අය ගෙවනවා”

“අප්පෝ අපෙ ලොකු ලොක්කෝ පගා ගන්න විදිහට මේ වගේ දෙයක් රටට ගානක්වත් නැතුව ඇති”

නංගිගෙ මේ කතාවට චුට්ටි මල්ලිත් රුකුල් තිබ්බා.

“අපෙ මිනිස්ටරයගෙන් මොකවත් කරගන්න ඉඩම් විකුනලා ඉන්න ඕනෑ! පොඩි බිස්නස් එකක්වත් පටන්ගන්න සීයට පහලවයි. කෝටි ගනන් ඇරගෙන ඇති”

“ඇයි අපෙ ලොක්කා! කාර් ගේන්න පර්මිට් හම්බුවෙනවා - ඒවා විකුනන්නේ ලක්ස සීයකට වැඩියෙන්!”

පුංචී වැඩිය සද්ද නෑ.

“මොකද පුංචි අම්ම කියන්නේ?”

“අනේ දරුවනේ …. අනවශ්ය කුණු කසළ වලින් ඔළුව හිස් කරගන්නෙ නැතුව ඔව්වා කතා කරන්න බෑ”

“මොනවද මෙතන කුණු කසළ? දූෂිත ක්රියා කියන්නේ සම්පූර්නෙන්ම … අ…ඇඹුල් ක්රියාවක්… ඒක ගැන ආයෙ විවාද ඕන නෑ නේද?”

“පුතා… මම කුණු කසළ කිව්වේ, දූෂිත ක්රියාව මොකද්ද? කී දෙනෙකුට ඒකෙන් හානියක් සිදු උනාද?, ඒකේ සල්ලි වලින් වටිනාකම කොච්චරද? අන්න ඒ වගේ දේ. ඒවා හිතෙන් අයින් කරලා දාන්න ඕනෑ ප්රශ්නේ ගැන හිතන්න ඉස්සරවෙලා. දැනගන්න ඕනම වෙන්නේ කලේ වැරදි දෙයක්ද නැද්ද කියලා විතරයි. කෝටි සීයක් හොරකම් කරත්, කාටහරි නීතියානුකූලව දෙන්න තියෙන රුපියල් විස්සක් නොගෙවා පැනලා ගියත් දෙකේ වැරැද්ද එකමයි”

මේක මටමයි වැදුනේ. අවුරුදු පහලොවකට විතර ඉස්සර සිද්ද වෙච්ච දෙයක් ගැනයි පුංචිඅම්මා ඒ කිව්වේ. දවසක් පුංචිත් කාරෙකේ ඉන්නකොට මම පාකින් ඇටෙන්ඩන්ට්ට සල්ලි නොගෙවා එලවාගෙන ගියා. ඒ වෙලාවෙත් පුංචී කිව්වා “හොඳ නෑ නේද පුතා එහෙම කරන එක?” කියලා. නමුත් මම කිව්වේ “විනාඩි පහයි හිටියෙ - බම්බුවටද සල්ලි ගෙවන්නේ?”. පුංචී මේ වගේ දේ කවදාවත් අමතක කරන්නෙ නෑ. නමුත් අනික් අතට බලනකොට, පුංචී මම එදා කරපු ‘වැරැද්ද’ ගැන කවදාවත් වෙන අය ඉදිරියේ මතක් කරලා නෑ.

මම සකුන් පුංචි අම්මා දිහා බලලා යන්තම් හිනා උනා. නමුත් පුංචී කතා කරලා ඉවර නෑ.

“ආංඩුවේ කන්තෝරුවක් වගකියයුතු නිලදාරියෙකුට එයාගෙ ව්යාපෘතියක කොන්තරක් කාරයෙක් තෑග්ගක් හැටියට දුන්න විඩියෝ මැසිමක් බාරගත්තොත්, ඒක ව්යාපාරිකුට ෆැක්ටරියක් අනුමත කරලා මුළු වියදමෙන් සියයට තිහක් ගන්න එකට වෙනස්ද?”

“ඉල්ලලා ගන්න එකෙයි තෑග්ගක් පිළිගන්න එකෙයි වෙනසක් නැද්ද්?” මට මතකයි චුට්ටි මල්ලිගෙ විඩියෝ ප්ලේයර් එක.

“අදාළ නැති දේ… මොලේ අවුල් කරන කුණු කසළ … ඉල්ලුවත් නැතත් එපා නොකියා බාරගත්ත එකයි වැරැද්ද… එහෙම නේද?”

අපි සේරම දැන් ටිකක් නිශ්ශබ්දයි. ඊලඟට පුංචී කතාකලේ ගුරුවරියක් වගේ, හරියට මල්ලියි නංගියි මමයි පංතියේ ළමයි වගේ.

“මෙව්වා කතාකරලා ලේ පුච්චාගන්න ඕන නෑ අපි. අද මෙතන බණක් කියලා දානයක් දුන්නා. ඒවා අපෙ ආගමේ චාරිත්ර. මේවගේ චාරිත්ර නිසා තමයි ආගමක් කාලයක් පැවතෙන්නේ… නමුත් අපි අමතක කරන්න හොඳ නෑ බුද්දාගමේ මූළික ඉගැන්වීම තමාගේ මනස දියුණු කරන එක කියලා…. හිතේ තියෙන අනවශ්ය කුණු කසළ ඉවත් කරලා ජීවිතේට අදාළ දේ පමණක් මෙනෙහි කරන්න ඕන…”

පුංචී තව තේ උගුරක් බිව්වා. ඊලඟ වචන ආවේ ගුරුවරියකගෙන් නෙවෙයි - කෙලින්ම සකුන් පුංචිගෙනුයි. කට හඬේ පොඩි හිනාවකුත් තියෙනවා.

“අපි හුඟක් වෙලාවට අපෙ රටේ බලවත්, ධනවත්, කීර්තිමත් අයගෙ වැරදි හොයනවා. ඒ අයගෙ අයථා ක්රියා ගැන අපි දුක් වෙනවා, කනගාටු වෙනවා, කිපෙනවා… නේද? රට කියන නැවේ ඉරීගිය මහරුවල, මේ අයථා ක්රියා කියන විශාල හිල් සහිත මහරුවල, තමා අපි එගොඩ ගෙනියන්න තියෙන එකම ගැලවුම් කාරයා කියලා අපි දන්නවා. රුවලේ හිල් ගැන අපි සේරටම අහෙන්න මොර දෙන්නේ සාධාරණ තරහකින්… හරි නේද?”

ඒ සැරේ සකුන් පුංචී පුටුවෙන් නැගිටින්න ලෑස්තිවුනා, රෑ කෑම මතක් වෙලා වෙන්න ඇති.

නමුත් මහරුවල හැටියට අටවලා තියෙන්නේ මාළු දැලක් කියලා අපිට පෙනෙන්නෙ නැත්තේ ඇයි? ලොකු හිල් විතරක් දිහා බලලා පොඩි හිල් දාහක් අමතක කරන්න අපි පුරුදුවුනේ කොහොමද?

අනික් අය මොනවා හිතුවත් මගෙ හිතට ආවේ අද දානෙට වැඩි හාමුදුරුවන්ට වඩා කොයි තරම් අපෙ සකුන් පුංචී බණට දක්ෂද කියලා.